4 වන පරිච්ඡේදය — අවසාන කාලය
GSAM 77.1“එවිට මම, මාගේ ස්වාමිනි, මේ දේවල අවසානය කුමක් වන්නේද? යයි කීවෙමි. ඔහුද, දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අවසාන කාලය දක්වා මේ වචන වසා මුද්‍රා තබා ඇත. ... දුෂ්ටයෝ දුෂ්ටකම් කරන්නෝය. දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. එහෙත් ප්‍රඥාවන්තයෝ තේරුම් ගන්නෝයයි කීවේය.”1
GSAM 77.1“ඔහු මට කතා කොට, මනුෂ්‍ය පුත්‍රය, තේරුම් ගන්න. මක්නිසාද මේ දර්ශනය අවසාන කාලය පිළිබඳවයයි කීවේය.”2
GSAM 77.1“එහෙත් දානියෙල්, නුඹ අවසාන කාලය දක්වා මේ වචන වසා පොතට මුද්‍රා තබන්න. බොහෝ දෙනෙක් ඔබමොබ දුවන්නෝය; දැනගැන්මද වැඩි වන්නේය.”3
GSAM 77.1මෙහි “අවසාන කාලය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය සැබෑ අවසානයම විය නොහැකිය. එසේ වුවහොත් දානියෙල්ගේ අනාවැකියෙහි “මුද්‍රා තබන ලද” කොටස මනුෂ්‍ය වර්ගයාට කිසි ප්‍රයෝජනයක් නොවනු ඇත. “එළිදරව් කරන ලද දේ අපට අයිතිය”4 එබැවින් මේ කොටස යම් කාලයකදී ප්‍රයෝජනවත් විය යුතුය. ඒ නිසා “අවසාන කාලය” යන ප්‍රකාශයෙන් අදහස් විය යුත්තේ අවසානයට මඳක් පෙර ඇති කාල පරිච්ඡේදයකි. ඒ කාලයේදී දානියෙල්ට පවසන ලද දේ තේරුම් ගනු ඇත.
GSAM 77උන්වහන්සේගේ සූදානම් වීමේ දවස
GSAM 77.2එයින් නිසැකවම අදහස් කරන්නේ අනාගතවක්තෘ නාහුම් “උන්වහන්සේගේ සූදානම් වීමේ දවස” යයි හැඳින්වූ කාලයයි. මෙහි අනාගතවක්තෘවරයා කතා කළේ “කසයේ ශබ්දයද, රෝදවල ගැටෙන ශබ්දයද, පැන පැන යන අශ්වයන්ද, උඩ පනින රථද” සමඟ සිදුවන නිනිවයේ විනාශය ගැනය.5 මුළු ලෝකය පිට පැමිණීමට නියමිත ඊටත් මහත් විපතක් වෙත අනාගතවක්තෘවරයාගේ අවධානය පළමුව යොමු කරනු ලැබේ. එවිට “උන්වහන්සේ නිසා කඳු වෙවුලන්නෝය, හෙල් දියවන්නෝය, උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද, එසේය, ලෝකයද එහි වසන සියල්ලෝද දැවී යන්නෝය. උන්වහන්සේගේ උදහස ඉදිරියෙහි සිටිය හැක්කේ කාටද? උන්වහන්සේගේ කෝපයේ දැඩි බව දරාගත හැක්කේ කාටද? උන්වහන්සේගේ උදහස ගින්න මෙන් වගුරුවනු ලැබේ; උන්වහන්සේ විසින් පර්වත කඩා දමනු ලැබේ. ... උන්වහන්සේ මුළුමනින්ම අවසානයක් කරනසේක; විපත්තිය දෙවන වරට නොනැඟිටින්නේය.”6
GSAM 78දැල්වෙන පන්දම් සහිත රථ
GSAM 78.1අනාගතවක්තෘවරයා මේ සූදානම් වීමේ දවස ගැන තවදුරටත් මෙසේ කියයි: “උන්වහන්සේගේ සූදානම් වීමේ දවසේදී රථ දැල්වෙන පන්දම් සහිතව තිබෙන්නේය; දේවදාර ගස් තදින් සොලවනු ලබන්නේය. රථ වීථිවල වේගයෙන් දුවන්නෝය; පුළුල් මාර්ගවල එකිනෙකට ගැටෙන්නෝය. ඒවා පන්දම් මෙන් පෙනෙන්නෝය, විදුලි මෙන් දුවන්නෝය. ඔහු තමාගේ බලවතුන් නැවත ගණන් කරන්නේය. ඔවුහු ගමන් කරන විට පැකිළෙන්නෝය; එහි පවුර වෙත ඉක්මන් කරන්නෝය; ආරක්ෂාවද සූදානම් කරනු ලබන්නේය.”7
GSAM 78.2නවීන අධිවේගී දුම්රිය ගැන මෙය කෙතරම් නිවැරදි විස්තරයක්ද! දුම්රිය භාර නිලධාරියා එක් නැවතුම්පොළක සිට තවත් නැවතුම්පොළක් දක්වා තම මගීන් නිතර ගණන් කර නැවත ගණන් කරයි. දුම්රිය ගමන් කරන අතරතුර ඔවුන් ඇවිදින විට පැකිළෙති. තවද දුම්රිය මාර්ගයේ සිල්පර, ආධාරක පාලම්, හිම ආවරණ ආදිය සඳහා දේවදාර ගස් විශාල වශයෙන් වැය වෙයි. සියෙරා නෙවාඩා කඳු හරහා යන එක් දුම්රිය මාර්ගයක දේවදාර ලීවලින් තැනූ හිම ආවරණ සැතපුම් හතළිස්හතක් ඇති බව කියනු ලැබේ. මෙය සිදුවන්නේ “උන්වහන්සේගේ සූදානම් වීමේ දවසේදී” බව අනාගතවක්තෘවරයා කීවේය.
GSAM 78.3ස්වාමීන්වහන්සේගේ සේවකයන්ට මෙසේ අණ දෙන විට අනාගතවක්තෘ යෝවෙල්ද මේ අවසාන කාලය ගැන කතා කරයි: “සියොන්හි හොරණෑව පිඹින්න; මාගේ ශුද්ධ කන්දෙහි අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; එය ළංව තිබේ.”8
GSAM 78.4නැවතද අනාගතවක්තෘ ශෙපනියා විසින් මෙසේ කියනු ලැබේ: “ප්‍රිය නොකරන ලද ජාතිය, එක්රැස් වන්න, එසේය, එක්රැස් වන්න. නියෝගය ඉටු වීමට පෙරද, දවස බොල් මෙන් පහව යාමට පෙරද, ස්වාමීන්වහන්සේගේ බලවත් කෝපය නුඹලා පිට පැමිණීමට පෙරද, ස්වාමීන්වහන්සේගේ උදහස් දවස නුඹලා පිට පැමිණීමට පෙරද එසේ කරන්න. උන්වහන්සේගේ විනිශ්චය පිළිපැද්දාවූ පොළොවේ සියලු යටහත් අයෙනි, ස්වාමීන්වහන්සේ සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න; යටහත්කම සොයන්න. සමහරවිට ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී නුඹලා සඟවනු ලබන්නහුය.”9
GSAM 79.1“අවසාන කාලය” යන ප්‍රකාශයේ අර්ථයත් එය ඇරඹෙන්නේ කවදාද යන්නත් වඩා සම්පූර්ණයෙන් දැනගැනීමට, එම යෙදුම භාවිත කරන තවත් අවස්ථාවක් සලකා බලමු. දානියෙල්ගේ එකොළොස්වන පරිච්ඡේදයෙහි අවසාන කාලය දක්වා තම ආධිපත්‍යය පැවැත්වීමට නියමිත පීඩා කරන බලයක් හඳුන්වා දෙනු ලැබේ. ඒ පීඩා කරන බලය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: “නුවණ ඇත්තන්ගෙන් සමහරෙක්, ඔවුන් පරීක්ෂා කර පවිත්‍ර කොට සුදු කරන පිණිස, අවසාන කාලය දක්වාම වැටෙන්නෝය. මක්නිසාද එය [අවසාන කාලය] තවමත් නියම කළ කාලයකට අයත්ය.”10
GSAM 79කුඩා අඟේ ක්‍රියාව
GSAM 79.2මේ බලයත් දානියෙල් හත්වන පරිච්ඡේදයේ සඳහන් “කුඩා අඟත්” අදාළ වන්නේ, “නියම කළ” කාලය තුළ ලෞකික පාලන බලය තම අතෙහි තබාගත් රෝම සභාවට බව ප්‍රොතෙස්තන්ත විවරණකරුවෝ සාමාන්‍යයෙන් එකඟ වෙති. ඒ නියම කළ කාලය වූයේ “කාලයක්ද, කාලවල්ද, කාලයකින් අඩක්ද” යන්නයි.11 මෙය ක්‍රි.ව. 538 සිට 1798 දක්වා පැවති කුඩා අඟේ ලෞකික පාලනයේ අනාවැකිමය දින 1260 හෙවත් අවුරුදු 1260 විය. ඒ අවසාන වර්ෂයේදී, එනම් “නියම කළ කාලයේදී”, කුඩා අඟේ ලෞකික පාලන බලය ඉවත් කරනු ලැබීය. එබැවින් ඒ බලය අතින් පෙර මෙන් ජනයා “වැටීම” ඒ වන විට නතර වී තිබිණි. එසේ නම් මේ අනාවැකියෙහි “අවසාන කාලය” යයි හැඳින්වෙන කාල පරිච්ඡේදයේ ආරම්භය සනිටුහන් කරන්නේ 1798 වර්ෂයයි.
GSAM 79.3ස්වාමීන්වහන්සේගේ “සාක්ෂිකරුවන් දෙදෙනා” (පරණ සහ අලුත් ගිවිසුම්) “ගෝණි රෙදි හැඳගෙන ... අනාවැකි කියන්නට” නියමිතව තිබූ “එක්දහස් දෙසිය හැට දවස” හෙවත් අවුරුදු 1260, 1798 වර්ෂයෙන් අවසන් විය.12 පීඩා පැවති අඳුරු යුගයේදී ශුද්ධ ලියවිලි ග්‍රීක සහ ලතින් භාෂාවලින් තබා තිබිණි. සාමාන්‍ය ජනයාට මේ භාෂා නොතේරිණි. මෙසේ ශුද්ධ ලියවිලි ජනයාගෙන් වළක්වා තැබීම, ඒවාට “ගෝණි රෙදි” ඇන්දවීමට සමාන කරනු ලැබේ.
GSAM 80සාක්ෂිකරුවන් දෙදෙනා මරා දමනු ලැබීම
GSAM 80.1“ඔවුන් [ගෝණි රෙදි හැඳ සිටින තත්වයෙහි] තම සාක්ෂිය නිම කළ පසු, පතුලක් නැති වළෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නේය [සාතන් ලෞකික මනුෂ්‍යයන් උසිගන්වා ඔවුන් මඟින් ක්‍රියා කිරීමය], ඔවුන් පරාජය කොට මරා දමන්නේය. ඔවුන්ගේ මළ සිරුරු, ආත්මික අර්ථයෙන් සොදොම සහ මිසරය යයි කියනු ලබන, අපගේ ස්වාමීන්වහන්සේද කුරුසියේ ඇණ ගසනු ලැබූ [“ඇණ ගසනු ලබන,” ඩෙන්මාර්ක පරිවර්තනයෙහි සහ සංශෝධිත අනුවාදයෙහි] මහා නුවර වීථියෙහි තිබෙන්නේය. විවිධ ජනයාගෙන්ද වංශවලින්ද භාෂාවලින්ද ජාතීන්ගෙන්ද වූ අය දවස් තුනහමාරක් ඔවුන්ගේ මළ සිරුරු දකින්නෝය; ඒ මළ සිරුරු සොහොන්වල තැබීමට ඉඩ නොදෙන්නෝය.”13
GSAM 80භීෂණ පාලනය
GSAM 80.2මේ සාක්ෂිකරුවන් මරා දැමීම සිදු වූයේ ප්‍රංශයේ 1792 සිට 1795 දක්වා පැවති අවුරුදු තුනහමාරක “භීෂණ පාලනය” තුළය. ප්‍රංශ විප්ලවය අවුරුදු හයක් හෝ හතක් පමණ පැවතුණද, බයිබලයත් ආගමත් ඒ දෙකෙන් එකක් වෙනුවෙන් හෝ කතා කිරීමට නිර්භීත වූ සියල්ලනුත් විනාශ කිරීමට ඔවුන් මහත් උත්සාහයක් දැරුවේ පළමු අවුරුදු තුනහමාර තුළය. ප්‍රංශ විප්ලවය රාජාණ්ඩුවට සහ පූජකයන්ගේ කපටි ආධිපත්‍යයට විරුද්ධව යුද්ධ කරන බව ප්‍රකාශ කළද, එය සැබවින්ම දෙවියන්වහන්සේත් බයිබලයත් මුළුමනින්ම ඉවත් කිරීමේ යුද්ධයක් බවට පත් විය. විප්ලවයට මඳ කලකට පෙර පැවති කාලය ගැන අපි මෙසේ කියවමු:
GSAM 80.2“1792 විප්ලවයට පෙර ප්‍රංශයේ දේව අවිශ්වාසය පතුරුවන්නන්, ජනයාගේ සිත් දූෂණය කර ඔවුන් අන්ත ක්‍රියාවලට සූදානම් කිරීමට පොත් මිලදී ගැනීම, මුද්‍රණය කිරීම හා බෙදාහැරීම සඳහා, එක් අවුරුද්දකදී තමන් අතරින් £900,000 [$4,500,000] රැස් කර වියදම් කළ බව පැවසෙන බව කිසිදා අමතක නොකළ යුතුය. එසේ කළේ එක් වරක් පමණක් නොව නැවත නැවතත්ය.”14
GSAM 80දේව අවිශ්වාසී ලේඛකයෝ
GSAM 80.3“එවැනි විප්ලවයකට මඟ සලසනු ලැබුවේ වෝල්ටෙයාර්, මිරබෝ, ඩිඩරෝ, හෙල්වීටියස්, දාලම්බෙර්, කොන්දෝර්සේ, රූසෝ සහ ඒ හා සමාන වෙනත් අයගේ ලියවිලි මඟිනි. ඔවුහු ඒ ලියවිලිවලින් ස්වභාවධර්මයෙන් දැනගන්නා ආගමත් දිව්‍ය එළිදරව්වෙන් දැනගන්නා ආගමත් යන දෙකම බිඳහෙළන මූලධර්ම පතුරුවන්නට උත්සාහ කළහ. දිව්‍ය එළිදරව්වට පහර දුන්නා පමණක් නොව එය සම්පූර්ණයෙන්ම පසෙකට දමනු ලැබීය. දෙවියන්වහන්සේ විශ්වයෙන් පිටුවහල් කර, ඒ වෙනුවට තර්ක බුද්ධියේ දේවතාවිය යන නමින් හඳුන්වන ලද මනඃකල්පිත මායාරූපයක් ආදේශ කරනු ලැබීය.”15
GSAM 81.11793 වර්ෂයේදී ජනයාගේ අදහස් කෙබඳු වීද යත්, දෙවියන්වහන්සේට සහ බයිබලයට අපහාස කරමින් සමච්චල් කළ නාට්‍ය රංගන ශිල්පීන්ට මහත් ඔල්වරසන් දෙනු ලැබීය. නිදසුනක් ලෙස අපි මෙසේ උපුටා දක්වමු:
GSAM 81.1“මොනෙර් නම් විකට නළුවා ශාන්ත රෝෂ් දේවස්ථානයේදී [පැරිස්] අභක්තිය එහි උච්චතම තැනට ගෙන ගියේය. ඔහු මෙසේ කීවේය: ‘දෙවියනි, ඔබ සිටිනවා නම්, ඔබගේ අපහාසයට ලක් වූ නාමය වෙනුවෙන් පළිගන්න! මම ඔබට අභියෝග කරමි. ඔබ නිහඬව සිටියි. ඔබේ ගිගුරුම් එවන්නට ඔබට ධෛර්යයක් නැත. මෙයින් පසු ඔබ සිටින බව විශ්වාස කරන්නේ කවුද?’”16
GSAM 81ප්‍රංශයේ ලියොන්හි දේව අපහාස ක්‍රියා
GSAM 81.2සාක්ෂිකරුවන් මරා දැමූ අය “දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැවත කුරුසියේ ඇණ ගසා ප්‍රසිද්ධ නින්දාවට පැමිණවූයේ” (හෙබ්‍රෙව් 6:6) කෙසේද යන්න, මරණයට පත් කරනු ලැබූ ලියොන්හි ආණ්ඩුකාරවරයා වූ ෂාලියේට ගෞරව පිණිස ෆූෂේ විසින් ලියොන්හි පවත්වන ලද උත්සවයක සිදුවීම්වලින් පෙනේ. ලියොන් වෙත පැමිණීමට පෙර ෆූෂේ මෙසේ අණ කළේය:
GSAM 81.2“සියලු ආගමික සංකේත විනාශ කළ යුතුය; දේවස්ථාන සුසානභූමිවල දොරටු ඉහළින්, මරණය සදාකාලික නින්දකි, යනුවෙන් ලිවිය යුතුය. ... ෂාලියේගේ උඩුකය පිළිරුව වීථි ඔස්සේ ගෙන යනු ලැබීය. මිනීමරුවන්ගේ සහ ගණිකාවන්ගේ අතිවිශාල සමූහයක් එය පසුපස ගියහ. ඔවුන්ට පිටුපසින් ශුභාරංචි පොතත් කුරුසියත් දිව්‍ය සත්ප්‍රසාද භාජනත් උසුලාගත් බූරුවෙක් පැමිණියේය. ඒවා ඉක්මනින්ම ගින්නට හෙළනු ලැබූ අතර, කැප කරන ලද මිදියුස දිව්‍ය සත්ප්‍රසාද කුසලානයෙන් බීමට බූරුවාට බල කරනු ලැබීය.”17
GSAM 81.3පැරිසියේ පවත්වන ලද තර්ක බුද්ධියේ උත්සවයක් මෙසේ විස්තර කරනු ලැබේ:
GSAM 81.3“ඔවුහු පෙරහැරින් ජාතික සම්මේලනය වෙත ගියහ. මැර පිරිස ... ආගමික චාරිත්‍ර අතිශයින්ම හාස්‍යජනක අයුරින් විකට ලෙස අනුකරණය කළහ. ... සුදු පූජක වස්ත්‍ර සහ උත්සව සළු පැළඳගත් පිරිමි හලෙලූයා ගී ගයමින්, කාර්මඤෝල් නැටුම නටමින්, සම්මේලන සභාවේ වැට අසලට පැමිණියහ. එහිදී ඔවුහු කැප කළ දිව්‍ය සත්ප්‍රසාද පූපයත් එය තබා තිබූ පෙට්ටිත් රන් හා රිදී ප්‍රතිමාත් තැබූහ. ඔවුහු විහිළු කතා පැවැත්වූහ. ... ශාන්ත දෙනීහි නියෝජිත පිරිසක් මෙසේ හඬ නැඟූහ: ‘අහෝ, අන්ධ ආගමික උමතුවේ උපකරණ වන නුඹලා, සියලු වර්ගවල භාග්‍යවත් සාන්තුවරයෙනි, අවසානයේදී හෝ දේශප්‍රේමීන් වන්න. සියල්ලෝම එකවර නැඟී සිට, උණු කරනු ලබන පිණිස කාසි ටංකනය කරන ස්ථානයට ගොස් රටට සේවය කරන්න.’”18
GSAM 82දෙවියන්වහන්සේගේ වචනය සැඟවී තිබුණු තත්වයෙන් එළියට පැමිණෙයි
GSAM 82.1“දවස් තුනහමාරකට පසු දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ජීවන ආත්මය ඔවුන් තුළට ඇතුල් විය” (සාක්ෂිකරුවන් තුළටය). ඔවුහු “වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ.”19 උන්වහන්සේගේ වචනය සැඟවී තිබුණු තත්වයෙන් එළියට පැමිණ නැවත ලෝකය ඉදිරියෙහි තබනු ලැබීමට දෙවියන්වහන්සේ නියම කළ කාලය පැමිණ තිබිණි. මුළු ලෝකයේම මිෂනාරි සේවය කිරීමට කාලය (1798) පැමිණ තිබිණි. 1804දී බ්‍රිතාන්‍ය බයිබල් සමාජය පිහිටුවන ලදී. ඉන්පසු වෙනත් බයිබල් සමාජ දුසිම් ගණනක් බිහි විය. දැන් බයිබලය ලෝකයේ සියලු ප්‍රධාන භාෂාවලට පරිවර්තනය කර ඇත. මෙසේ සාක්ෂිකරුවන් දෙදෙනා වන ශුද්ධ ලියවිලි, සියල්ලන්ටම දැක කියවිය හැකි වන සේ ප්‍රසිද්ධියට පැමිණීම, ඔවුන් වලාකුළකින් ස්වර්ගයට නැඟී යාමට සමාන කරනු ලැබේ.
GSAM 82.2ප්‍රංශ විප්ලවය පැවති කාලයේදී වෝල්ටෙයාර් කියා සිටියේ අවුරුදු සියයකින් බයිබලය භාවිතයෙන් බැහැර වනු ඇති බවයි. ඒ දින සිට සියවන අවුරුද්දේදී, වෝල්ටෙයාර් මේ නිෂ්ඵල පුරසාරම පැවසූ විට තිබූ බව දැන සිටි බයිබල් පිටපත් ගණනට වඩා වැඩි ගණනක් ප්‍රංශයේ පමණක් බෙදාහැර තිබිණි. ඔහු ඒ ප්‍රකාශය කළ නිවස පවා දැන් බයිබල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව කියනු ලැබේ.
GSAM 82රොසෙටා ගල සොයාගැනීම
GSAM 82.31798 වර්ෂයට සහ ප්‍රංශ ජනයාට සම්බන්ධ කරුණු දෙකක් අප සැලකිල්ලට ගත යුතුය. පළමුව, ඒ වර්ෂයේදී ජෙනරාල් බර්තියේ යටතේ සිටි ප්‍රංශ හමුදාව රෝමයේ පාප් පාලනය පෙරළා දැමුවේය. මෙසේ ඔවුහු තමන් යුද්ධ කළ ඒ පොතෙහිම මේ සිදුවීම ගැන අඩංගු වූ අනාවැකිය, තමන් නොදැනුවත්වම ඉටු කළහ. දෙවනුව, එම වර්ෂයේම නයිල් නදියේ රොසෙටා ශාඛාව අසල ශාන්ත ජූලියන් බලකොටුවේදී ප්‍රංශ හමුදාව කැණීමක් කරන අතරතුර ප්‍රසිද්ධ රොසෙටා ගල සොයාගත්තේය. එය දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇත. මේ ගලෙහි ආකාර තුනකින් ලියූ ශිලා ලේඛනයක් තිබේ: පූජකයන් භාවිත කළ චිත්රාක්ෂර ලේඛනය; සාමාන්‍ය ජනයා භාවිත කළ ඩිමොටික් ලේඛනය; සහ ග්‍රීක භාෂාවය. එතෙක් අබිරහසක්ව පැවති ඩිමොටික් හා චිත්රාක්ෂර ලේඛනවල අර්ථය විවෘත කළ යතුර මෙයයි. තවත් කෙනකු පවසා ඇති පරිදි, දැන් “ඩිමොටික් අක්ෂරවලින් ලියූ මේ ලේඛන පොළොවෙන් මතු කරගන්නා අලවංගුවත් සවලත්, ශුද්ධ ලියවිලිවලින්ම ලැබෙන සාක්ෂි හැර වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් ලැබෙනවාට වඩා, පුරාණ බයිබල් වාර්තාවල නිවැරදි බවට සාක්ෂි සපයයි.” එසේ බයිබලය මුලිනුපුටා දැමීමට සිතූ ඒ ජනයාම, තමන් කොහෙත්ම නොදැනුවත්ව, අවුරුදු 1260 අවසානයේදී පාප් පදවියේ ආධිපත්‍යය ඉවත් කිරීමෙන් අනාවැකියක් ඉටු කිරීමට යොදාගනු ලැබූහ. තවද ඔවුන් මෙතරම් උත්සාහයෙන් විනාශ කිරීමට තැත් කළ ශුද්ධ ලියවිලිවල සත්‍යතාව තහවුරු කරන ඒ ලේඛනවල අර්ථය විවෘත කළ යතුරද සොයාගත්හ.
GSAM 83“නුඹේ කොටසෙහි නුඹ සිටින්නෙහිය”
GSAM 83.1අවසාන කාලයේදී සිදුවිය යුතු බව දේවදූතයා දානියෙල්ට පැවසුවේ කුමක්ද? “දින 2300ක් දක්වාය; එවිට ශුද්ධස්ථානය පිරිසිදු කරනු ලබන්නේය”20 යයි ශුද්ධ තැනැත්තා පවසනු ඇසූ තැන් සිට, “මේ දේවල අවසානය” කුමක් විය යුතුද, එය සිදුවීමට “කොපමණ කල්” ගත වේද යන කරුණු ගැන ඔහුගේ සිත කනස්සල්ලෙන් පිරී තිබිණි.21 අවසානයේදී, ඒ කාලය පිළිබඳ දැනුම ඔහුගේ දවසට අයත් නොවන බව ඔහුට අවබෝධ කරනු ලැබේ. ඔහුට මෙසේ කියනු ලැබේ: “අවසානය පැමිණෙන තුරු නුඹ යන්න. මක්නිසාද නුඹ විවේක ලබන්නෙහිය; දවස්වල කෙළවරදී නුඹේ කොටසෙහි සිටින්නෙහිය.”22
GSAM 83.2මේ වචන ලෝකයේ අන්තිම අවසානය ගැන සඳහන් කරන බවත්, එවිට දානියෙල් ස්වාමීන්වහන්සේගේ සෙසු ජනතාව සමඟ තම විපාකය ලබා, තමාගේ උරුම කොටසෙහි සිටින බවත් සමහරු සිතා ඇත. උරුම කොටස, දේශයක ප්‍රදේශයක් ආදිය සඳහා හෙබ්‍රෙව් වචනය “ඝෙහ්-වෙල්” බව අපට කියනු ලැබේ. මේ ශුද්ධ ලියවිලි පාඨයේ “කොටස” යනුවෙන් පරිවර්තනය කර ඇත්තේ ඒ වචනය නොවේ. මෙහි ඇති වචනය “ගෝ රාල්” යන්නයි. මේ “ගෝ රාල්” යන වචනය පරණ ගිවිසුමේ හැත්තෑහය වරක් යෙදෙන බවත්, සංකේතයක් ලෙස සිදු කළ ශුද්ධස්ථානය පිරිසිදු කිරීම ගැන කතා කරන විටද යොදා ඇත්තේ ඒ වචනයම බවත් හෙබ්‍රෙව් විශාරදයෝ අපට කියති. එහිදී එළුවන් දෙදෙනාගෙන් කවරෙක් මරා දැමිය යුතුද යන්න තීරණය කිරීමට කුසපත් හෙළනු ලැබීය. උත්තම පූජකයා ස්වාමීන්වහන්සේට අයත් එළුවාගේ ලේ රැගෙන පිරිසිදු කිරීමේ කාර්යය ඉටු කිරීමට ශුද්ධස්ථානයට ඇතුල් වූ විට, මුළු ඉශ්රායෙල් පිටත සිට තම ප්‍රාණවලට පීඩා කරගනිමින් තම පව් පාපෝච්චාරණය කළහ. එසේ කළේ ඔවුන් නිදොස්ව සිට, උත්තම පූජකයා ශුද්ධස්ථානයෙන් පිටතට පැමිණෙන විට ඔහුගේ ආශීර්වාදය ලබන පිණිසය. මෙසේ ඒ දවසේදී ඉශ්රායෙල් තමන්ගේ කොටසෙහි සිටියහ.
GSAM 84.1දින 2300 අවසානයේදී ශුද්ධස්ථානය පිරිසිදු කිරීමේ අවසාන කාර්යය පැමිණෙන විට, දානියෙල්ගේ කාරණයත් මියගිය සියලු ධර්මිෂ්ඨයන්ගේ කාරණාත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි විමසා බැලීමට නියමිත විය. මෙසේ දානියෙල් තම කොටසෙහි සිටියි.
GSAM 841798 දක්වා මුද්‍රා තැබූ වචන
GSAM 84.2“මාගේ ස්වාමිනි, මේ දේවල අවසානය කුමක් වන්නේද?”23 යන දානියෙල්ගේ විමසීමට පිළිතුරු වශයෙන් ඔහුට කියනු ලබන්නේ, “අවසාන කාලය දක්වා මේ වචන වසා මුද්‍රා තබා ඇත.”24 යන්නයි. දානියෙල්ගේ සිත මෙතරම් කලබල කළේ “කවදාද?”, “කොපමණ කල්ද?” සහ “අවසානය කුමක් වන්නේද?” යන ප්‍රශ්නයි. අනාගතවක්තෘවරයා වියවුලට හා කනස්සල්ලට පත් කළ කරුණු මේවාය. “අවසාන කාලය” දක්වා වසා මුද්‍රා තැබීමට නියමිත වූයේ මේ දේ පමණකි; සමහරු සිතා ඇති ලෙස දානියෙල් පොත මුළුමනින්ම නොවේ. මේ 1798 කාලයට පෙර අනාවැකි අධ්‍යයනය කළ අයට සති හැත්තෑව ගැන ආලෝකය ලැබී තිබිණි. ඒවා ක්‍රි.පූ. 457දී ඇරඹුණු බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රසිද්ධ සේවය, උන්වහන්සේගේ මරණය ආදිය, ඒ දින සිට සති හැටනවය සහ හැත්තෑව ගණන් බැලීමට හරියටම එකඟව සිදු වූ බවත් ඔවුහු තේරුම් ගත්හ. මේ ගණනයට එකඟව ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර මෙසේ හරියටම ඉටු වීම, උන්වහන්සේ සැබවින්ම සැබෑ මෙසියස්වහන්සේ බවට ප්‍රබල සාක්ෂියක් ඔවුන්ට ලබා දී තිබිණි. එමඟින් සති හැත්තෑවේ ආරම්භක දිනයද වෙනස් කළ නොහැකි ලෙස ස්ථිර විය. සති හැත්තෑව දින 2300හි පළමු කොටස බව හඳුනාගැනීමට ඔවුන් අපොහොසත් වූ නිසා, අනාවැකියෙන් කියා තිබූ පරිදි, ඒ කාරණය 1798න් පසුව වන තුරු මුද්‍රා තබන ලදුව පැවතිණි.
GSAM 84දින 2300 වටහාගැනීමේ යතුර
GSAM 84.3දැන් අපි මේ කාරණයට අදාළ කරුණු සලකා බලමු. 1798 වර්ෂය වන තෙක් අනාවැකි විවරණය කළ අයට දින 2300 අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳ ආලෝකයක් නොතිබිණි. දානියෙල් පොතේ සංකේත, ප්‍රතිමාව සහ මෘගයන් තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වුවත්, ඒ දින ආරම්භ වූයේ කවදාදැයි ඒ වන විටත් ඔවුන් නොදැන සිටි බැවින්, දින 2300 අවසන් වන කාලය පැවසීමට ඔවුන්ට නොහැකි විය. මේ කරුණ සනාථ කිරීමට, එවකට නිව් යෝර්ක් නගරයේ පළ වූ ඇඩ්වෙන්ටිස්ට් පුවත්පතක් වන මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ 1842 ජූනි 15 දින කලාපයේ මෙසේ කියවමු: “1798 සිට, ඊට පෙර කිසිසේත් වටහාගෙන නොතිබූ කරුණක් වූ, සති හැත්තෑව දින 2300 වටහාගැනීමේ යතුරක් බව දැකගත් විවිධ ස්වාධීන ලේඛකයන් හමුවීම සැබවින්ම සිත්ගන්නාසුලුය.”
GSAM 85බොහෝදෙනෙකු ආලෝකය සොයාගැනීම
GSAM 85.1තම සෙනඟගේ අවබෝධයට මේ දැනුම විවෘත කිරීමට ස්වාමීන්වහන්සේ නියම කළ කාලය පැමිණෙන තුරු එය “මුද්‍රා කර” තිබුණා සේම, “අවසාන කාලය” පැමිණි විට බොහෝදෙනෙකු මේ කරුණු සොයමින් ශුද්ධ ලියවිල්ල පුරා “එහා මෙහා දුවන” බවද එපමණින්ම සැබෑ විය යුතුය. මේ පාඨයේ පරිවර්තන කිහිපයක් සසඳා බැලීමෙන් මේ අදහස ඉතා පැහැදිලි වනු ඇත.
GSAM 85.2ආචාර්ය ඇඩම් ක්ලාක් මෙසේ පවසයි: “බොහෝදෙනෙක් එහි අර්ථය සොයාගැනීමට උත්සාහ කරන්නෝය; මේ මාර්ගයෙන් දැනුම වැඩි වන්නේය.”
GSAM 85.3ලූතර්ගේ සංශෝධිත ජර්මානු බයිබලයේ අපි මෙසේ කියවමු: “එසේ බොහෝදෙනෙක් එය පිරික්සා මහත් අවබෝධයක් ලබන්නෝය.”
GSAM 85.4ජර්මානු සමාන්තර බයිබලයේ මෙසේ සඳහන් වේ: “බොහෝදෙනෙක් එය මුල සිට අග දක්වා පිරික්සන්නෝය; එසේ දැනුම වැඩි වන්නේය.”
GSAM 85.5කතෝලික පාඨකයන්ගේ භාවිතය සඳහා පාප්තුමාද අනුමත කළ එල්. වෑන් එස්ගේ ජර්මානු බයිබලය එය මෙසේ පරිවර්තනය කරයි: “බොහෝදෙනෙක් එය මුළුමනින්ම සොයා බලන්නෝය; දැනුම මහත් වන්නේය.”
GSAM 85.6ස්වීඩන් බයිබලයේ මෙසේ සඳහන් වේ: “බොහෝදෙනෙක් එහි සොයා බලන්නෝය; දැනුම මහත් වන්නේය.”
GSAM 85.7සංශෝධිත ඩෙන්මාර්ක–නෝර්වේ බයිබලයේ මෙසේ සඳහන් වේ: “බොහෝදෙනෙක් උනන්දුවෙන් සොයා බලන්නෝය; දැනුම බොහෝ වන්නේය.”
GSAM 85.81798 ට පෙර මුද්‍රා කර තිබූ දේ පිළිබඳ මෙසේ සොයා බලා දැනුම ලැබීම ගැන, 1842 ජූනි 15 දින මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ අපි මෙසේ කියවමු: “එකිනෙකා ගැන කිසිදු දැනීමක් නොමැතිව, මෙතරම් ලේඛකයන් පිරිසක් එකම කාලයකදී පමණ එකම නිගමනයකට පැමිණීම පුදුමාකාර සමපාත වීමක් නොවේද?”
GSAM 86.1දින 2300 අවසන් වීම පිළිබඳ සත්‍යය, එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමෙන් නොව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලපෑමෙන් මඟපෙන්වනු ලැබ, ශුද්ධ ලියවිල්ල උනන්දුවෙන් සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සොයාගත් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් විස්සක ලැයිස්තුවක් මෙහි ඉදිරිපත් කරමු. මේ ලැයිස්තුවේ මුලට අපි නිව් යෝර්ක් ප්‍රාන්තයේ විලියම් මිලර් තබමු; ඉන්පසු පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාවේ ඒ. ජේ. කෘප්; මේන්හි ෆැල්මත්හි ඩේවිඩ් මැක්ග්‍රෙගර්; එංගලන්තයේ එඩ්වඩ් අර්විං; ස්කොට්ලන්තයේ ආර්චිබෝල්ඩ් මේසන්; දකුණු කැරොලිනාවේ ඩබ්ලිව්. ඊ. ඩේවිස්; ආසියාවේ විවිධ පෙදෙස්වල සේවය කළ ජෝසෆ් වුල්ෆ්; 1829 දී රොබට් ඕවන් සමඟ කළ විවාදයේදී ඇලෙක්සැන්ඩර් කැම්බල්; එංගලන්තයේ ලිවර්පූල්හි කපිතාන් ඒ. ලැන්ඩර්ස්; ජර්මනියේ ස්ටුට්ගාර්ට්හි ලියොනාර්ඩ් හයින්රික් කෙල්බර්; ස්පාඤ්ඤයේ ලකුන්සා; ඕලන්දයේ හේග්හි හෙන්ට්සෙපීටර්; ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම්හි ආචාර්ය කපඩෝස්; බැවේරියාවේ රාවු; 1821 දී ටාටරියේ පූජකයන්; “සීරා” නමැති තම පොතේ යේමනයේ බයිබල් ශිෂ්‍යයන්; ජර්මනියේ වෙනත් ප්‍රදේශයක හෙන්ග්ස්ටන්බර්ග්; කැස්පියන් මුහුද අසල රුසියානුවන්; බෝල්ටික් වෙරළේ මොලොකාන්වරු ආදීහු වෙති.
GSAM 86.2එකිනෙකා ගැන දැනීමක්ද නොමැතිව, අනාවැකි අධ්‍යයනය කළ අයට මේ විෂය කලින් කලට විවෘත වූ ආකාරය පහත දැක්වෙන දෙයින් පැහැදිලි වනු ඇත:—
GSAM 86.31842 ජූනි 15 දින මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ මේ වචන ඇත: “පහත සඳහන් නාමය දරන පොතක් දැන් ලැබිණි: ‘දානියෙල්ගේ දින 2300 පිළිබඳ අනාවැකිමය සංඛ්‍යා ගැනද, සභාවේ මිදීම පිළිබඳව විමසා බැලීමට කිතුනුවකුට ඇති යුතුකම ගැනද නිබන්ධන දෙකක්; ස්කොට්ලන්තයේ විෂෝටවුන්හි ශුභාරංචි සේවක ආර්චිබෝල්ඩ් මේසන් විසිනි. නිව්බර්ග්හිදී, ග්ලාස්ගෝ සංස්කරණයෙන් වෝඩ් එම්. ගේස්ලි විසින් මුද්‍රණය කරන ලදි, 1820.’ මේ පොතේ මේසන් මෙසේ පවසයි: ‘දකුණු කැරොලිනාවේ ගරු ඩබ්ලිව්. ඊ. ඩේවිස් විසින් ඇමරිකාවේ මුලින් ප්‍රකාශයට පත් කර, 1818 දී දකුණු එංගලන්තයේ වෝකින්ටන්හි නැවත පළ කරන ලද කුඩා පත්‍රිකාවක් මම මෑතකදී දුටුවෙමි. දින 2300 සති හැත්තෑව සමඟ ආරම්භ වූ බව මේ කතුවරයා තරයේ කියා සිටියි (9:24). මේ මතයට එකඟ වීමට මට සිදු වේ.’”
GSAM 87දකුණු කැරොලිනාවේ ඩේවිස්
GSAM 87.1මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ එම කලාපයේම කර්තෘවරයා පැවසුවේ, “ඩේවිස්ගේ පොත 1810 පමණ ලියා තිබිය යුතුය” යනුවෙනි. පොතේ ඉදිරිපත් කර ඇති තර්ක ගැන කතා කරමින් ඔහු මෙසේ සඳහන් කරයි: “පාඨකයාට තමා කියවන්නේ මිලර්, ලිච්, ස්ටෝර්ස් හෝ හේල්ගේ ලියවිලි යයි සැබවින්ම සිතෙන්නට පුළුවන. එහෙත් පසුගිය සතිය වන තුරු වර්තමාන දෙවන ආගමන ලේඛකයන්ගෙන් කිසිවකු මේ පොත තිබෙන බව දැන නොසිටි බව අපි විශ්වාස කරමු. මේ පත්‍රයේ [මොරගැසීම පත්‍රයේ] කර්තෘවරයා මීට පෙර ඒ ගැන කිසිදා අසා නොතිබිණි. මේසන් විසින් අනුමත කරන ලද, කාලය පිළිබඳ ඩේවිස්ගේ ස්ථාවරය වූයේ දින 2300 යුදෙව් වර්ෂ 1843 සමඟ—එනම් අපගේ 1844 වර්ෂයේ—අවසන් වන බවය.”
GSAM 87ජෝසෆ් වුල්ෆ් සහ තවත් විසිදෙනෙක්
GSAM 87.21843 අගෝස්තු 31 දින මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ, “1822 දී ජෝසෆ් වුල්ෆ් (එංගලන්තයේ) ‘ඔහු නැවත එන්නේය, ස්වර්ගයේ වලාකුළු මත මනුෂ්‍ය පුත්‍රයා’ නමැති පොතක් පළ කළේය” යයි අපි කියවමු. තවද, “1826 දී සම්මත ධර්මය පිළිගත් සියලු නිකායන්ට අයත් විසිදෙනෙක් වුල්ෆ් මහතා සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට ලන්ඩනයේදී රැස් වූහ. ඔවුහු ඒකමතිකව එකම නිගමනයට පැමිණියෝය. ඔවුහු 1260 ට අවුරුදු 45 ක් එකතු කළෝය” යයිද එහි සඳහන් වේ. 1798 දී අවසන් වූ අවුරුදු 1260 ට අවුරුදු 45 ක් එකතු කළ විට, අප පැමිණෙන්නේ යුදෙව් වර්ෂ 1843 අවසානයටය; එය සැබවින්ම අපගේ 1844 වර්ෂයයි.
GSAM 87ඇලෙක්සැන්ඩර් කැම්බල්ගේ ස්ථාවරය
GSAM 87.3එම පත්‍රයේ ඒ කලාපයේම ඇලෙක්සැන්ඩර් කැම්බල් ගැන මෙසේ සඳහන් වේ: “1829 දී ඔහු අවිශ්වාසික රොබට් ඕවන් සමඟ තම ප්‍රසිද්ධ විවාදය පැවැත්වීය. එහිදී ඔහු තර්ක කළේ දානියෙල්ගේ දර්ශන කාලයේ අවසානය දක්වා විහිදෙන බවත්, දින 2300 යනු අවුරුදු බවත්, ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ උපතෙන් අවුරුදු 1847 ක් පමණ ගත වූ විට අවසන් වන බවත්ය. ඔහුම පෙන්වා දුන් පරිදි එම උපත සාමාන්‍ය ගණනයට අවුරුදු හතරකට පෙර සිදු විය.” එබැවින් ඔහුගේ ගණනය අනුව දින 2300 සැබවින්ම අවසන් වන්නේ ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ සිට සම්පූර්ණ යුදෙව් අවුරුදු 1843 ක් අවසන් වන විටය—එනම් සැබවින්ම 1844 දීය.
GSAM 88.11843 සැප්තැම්බර් 21 දින මධ්‍යම රාත්‍රී මොරගැසීම පත්‍රයේ, පහත සඳහන් නාමය සහිතව ලැබුණු පොතක් ගැන ප්‍රකාශයක් ඇත: “බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට හඬක්: අපගේ ස්වාමීන්වහන්සේද ගැළවුම්කාරයාණන්ද වන තැනැන්වහන්සේගේ දෙවන ආගමනය පිළිබඳ ශුද්ධ ලියවිල්ලට අනුව ප්‍රකාශයක්; ඒ සඳහා අපි දිනපතා ‘ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා, ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඉටු වේවා’ යයි යාච්ඤා කරමු,25 ලිවර්පූල්හි කපිතාන් ඒ. ලැන්ඩර්ස් විසිනි; එස්. කෙන්ට් සහ සමාගම විසින් ප්රකාශිතය, 1839.”
GSAM 88.2“ඔහුද අනෙක් අය මෙන් කාලය ගණනය කරමින්, දින 2300 හි අවසානය ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ උපතෙන් අවුරුදු 1847 කට පසුව බව දක්වයි.” උන්වහන්සේ සාමාන්‍ය ගණනයට අවුරුදු හතරකට පෙර උපන් බැවින් එය අපගේ 1844 වර්ෂය වේ.26
GSAM 88ලියොනාර්ඩ් හයින්රික් කෙල්බර්
GSAM 88.31892 මැයි 17 දින සමාලෝචනය සහ පණිවුඩකරු පත්‍රයේ ජර්මනියේ හැම්බර්ග්හි දේවගැති එල්. ආර්. කොන්රාඩිගේ ලිපියක් ඇත. එහි ඔහු මෙසේ පවසයි:—
GSAM 88.4“පසුගිය සියවසේදී අපගේ ස්වාමීන්වහන්සේගේ ප්‍රකාශ වීමේ කාලය 1836 වර්ෂයට නියම කළ සුප්‍රසිද්ධ ලූතරන් නායක පූජක බෙන්ගල් ගැන අපගේ පාඨකයන් බොහෝදෙනෙකු අසා ඇතිවා විය හැකිය [ෂාෆ්ට අනුව බෙන්ගල් 1751 දී මිය ගියේය]. ඔහුගේ ගණනයන් පදනම් වූයේ එළිදරව් පොතේ 666 සංඛ්‍යාව මතය. එහෙත් මේ කාලය ඉකුත් වීමට බොහෝ කලකට පෙර, ලියොනාර්ඩ් හයින්රික් කෙල්බර් නමැති ප්‍රධාන පාසල් ගුරුවරයකු වූ තවත් මිනිසෙක් ලියන්නට පටන්ගත්තේය. මතෙව් 24 සහ 25 පිළිබඳ විවරණයක් ඇතුළත්, ‘අවසානය ළඟය’ නමැති ඔහුගේ පළමු පත්‍රිකාව 1824 දී පළ විය. එය බැවේරියාවේ මුද්‍රණය කරන ලදි. නමුත් 1835 දී එම නාමයම ඇති, පිටු 126 කින් යුත් වඩා විශාල පත්‍රිකාවක් ස්ටුට්ගාර්ට්හි පළ විය. මෙය විශේෂයෙන් සිත්ගන්නාසුලු වන බැවින්, අපගේ පාඨකයන්ට වඩා හොඳ අදහසක් ලබා දීමට එහි නාම පිටුවේ පරිවර්තනයක් මෙහි එක් කරමි: ‘අවසානය පැමිණේ: දෙවියන්වහන්සේගේ වචනයෙන්ද මෑතකාලීන සිදුවීම්වලින්ද සවිස්තරව හා ඒත්තුගන්වන අයුරින් සනාථ කරමින්; අපගේ ස්වාමීන්වහන්සේගේ පැමිණීම බලා සිටීමට හෝ කාලය ගණනය කිරීමට එරෙහි සියලු අගතීන් මුළුමනින්ම බිඳ දමමින්; මහත් තීරණාත්මක වර්ෂය සම්බන්ධයෙන් නායක පූජක බෙන්ගල් අවුරුදු හතකින් වැරදුණු ආකාරය පැහැදිලිව පෙන්වමින්; මන්ද, ආලෝකය හා අන්ධකාරය අතර මහත් අරගලය අවසන් වී, දිගු කලක් බලා සිටි අපගේ ස්වාමීන් වන යේසුස්වහන්සේගේ සාමයේ රාජ්‍යය පොළොවෙහි ආරම්භ වන අවසාන සීමාව 1836 නොව 1843 වර්ෂයයි.’
GSAM 89.1“දෙවන සංස්කරණයක්ද 1841 දී ස්ටුට්ගාර්ට්හි පළ වූ අතර, මා දන්නා තරමට තවත් එකක් සැක්සනියේ පළ විය. නාම පිටුව පෙන්වන පරිදි, ඒ පත්‍රිකාව පොදු අගතීන්ට පිළිතුරු දීමෙන් පසු, දානියෙල් 8 හි දින 2300 සහ දානියෙල් 9 හි සති හැත්තෑව අතර පවතින සම්බන්ධතාව පැහැදිලිව හා නිශ්චිතව පෙන්වා, ඒවා 1843 වර්ෂය දක්වා ගෙන එයි (යුදෙව් 1843—අපගේ 1844). ඉන්පසු පොතේ ඉතිරි කොටසෙහි, මේ සිදුවීම ළඟ විය යුතු බව කාලයේ සලකුණුවලින් ඔහු පෙන්වයි.
GSAM 89.2“සංස්කරණ කිහිපයක් පළ වීම යන කරුණ පමණක් වුවද, එය ඇති කළ උනන්දුවට සාක්ෂි දරනු ඇත. දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ෂේහේ සහෝදරයා දුර බැහැර සිලීසියා පළාතේදී පවා ඒ පිළිබඳ දැන්වීමක් දැක, එය ඇණවුම් කර ගෙන්වාගෙන, දොරවල් අගුලු දමාගෙන මහත් උනන්දුවෙන් කියවීය. ලෝකයේ ඒ හා සමාන වෙනත් ව්‍යාපාරයක් ගැන කතුවරයා කිසිවක් දැන සිටි බවට කිසිදු ලකුණක් පොතෙහි සොයාගත නොහැකිය. එසේ වුවද, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ඔහු එම නිගමනවලටම පැමිණියේය.
GSAM 89.3“1842 දීද ස්ටුට්ගාර්ට්හිදී ඔහු පිටු 286 කින් යුත් ඊටත් වඩා විශාල පත්‍රිකාවක් ලිවීය. එහි විෂය වූයේ ‘ලෝකයේ මැවීම සහ එහි පැවැත්මේ කාලය සම්බන්ධ මූලික හා ශුද්ධ ලියවිල්ලට අනුකූල අදහස්; හෙවත් දෙවියන්වහන්සේ ලෝකය අනුක්‍රමික දවස් හයකින් මැව්වේ ඇයි යන ප්‍රශ්නයට සවිස්තර පිළිතුරක්—අන්තක්‍රිස්තුස් විනිශ්චය කිරීමට අපගේ ස්වාමීන්වහන්සේගේ පැමිණීම ළං වීම—1843 වර්ෂයේ මහත් හා ප්‍රීතිමත් සිදුවීම්’ යන්නය.”
GSAM 89“බෙන් එස්රා” (ලකුන්සා)
GSAM 89.41812 වර්ෂයේ පමණ, ස්පාඤ්ඤයේ ලකුන්සා, මහිමයෙන් හා තේජසින් මෙසියස්වහන්සේගේ පැමිණීම නමැති පොතක් පළ කළේය. කතුවරයා “බෙන් එස්රා” යන අන්වර්ථ නාමය භාවිත කළ අතර, ඔහු ඇදහිල්ලට හැරුණු යුදෙව්වකු වූයේ යයි සැලකේ. එංගලන්තයේ එඩ්වඩ් අර්විං, දෙවන ආගමනය පිළිබඳ තම කාර්යය ආරම්භ කිරීමෙන් පසු, ඉහත පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය. එබැවින් එහි පණිවුඩය අවම වශයෙන් භාෂා දෙකකින් ප්‍රකාශ විය.
GSAM 89.5පසුගිය සියවසේ ආරම්භයේ සිට 1840 දක්වා දින 2300 කාල පරිච්ඡේදය ගණනය කර, සති හැත්තෑව එම කාල පරිච්ඡේදයේ මුල් කොටස ලෙස හඳුනාගත් විවිධ ශිෂ්‍යයන්ගේ නිගමන, අවුරුදු ගණනාවකට පසු එකට ගෙන බැලීමත්, එම කාල පරිච්ඡේදය 1844 දී අවසන් වීම සම්බන්ධයෙන් ඔවුන් සියලුදෙනා එකඟ වන බව දැකීමත් සැබවින්ම සිත්ගන්නාසුලුය.
GSAM 90දින 2300 හි සැබෑ අවසානය 1844 ය
GSAM 90.1දින 2300 අවසන් වන සැබෑ වර්ෂය 1844 බව අපට නිසැකව විශ්වාස කළ හැකිද යන ප්රශ්නය මතු විය හැකිය. එසේය! මන්ද, අනාවැකියක ව්‍යාජ ඉටුවීමක් එහි සැබෑ ඉටුවීම සඳහා නියමිත කාලයේදී සිදු විය නොහැකි බව යම් සේ නිසැකද, එසේම දින 2300 හි නිවැරදි අවසානය 1844 වර්ෂය බවට අප නිගමනය කළ යුතුය. ඒ දැනුම 1798 දක්වා මුද්‍රා කර තබා, ඉන්පසු ආලෝකය බැබළෙන බවට පොරොන්දු වූ දෙවියන්වහන්සේ, කාලය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට උන්වහන්සේ උනන්දුවෙන් සෙවූ අයට, නොවරදින තම ආත්මයාණන් මඟින් මඟපෙන්වූසේක. ඒ විෂය පිළිබඳ “දැනුම” “වැඩි වීමට” උන්වහන්සේගේ කාලය පැමිණ තිබූ අතර, උන්වහන්සේ සැබෑ ආලෝකය දුන්සේක.
GSAM 90.2“අවසාන කාලයේදී” සෙනඟගේ අවබෝධයට ගෙන එන ලද කාල පරිච්ඡේදයේ අවසානය සොයාගත් බැවින්, ඒ සොයාගැනීමේ වැදගත්කම විමසා බැලීම යහපත්ය. එම කාලයේ, ශුභාරංචි කාර්යය අවසන් වන විට, විනිශ්චය පැවැත්වීම සඳහා නිශ්චිත කාලයක් ප්‍රකාශ කළ යුතු බව අපට පෙනේ. යොහන් මෙසේ පවසයි: “තවද මම පොළොවෙහි වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් ජනතාවන්ටත් දේශනා කරන පිණිස සදාකාල ශුභාරංචිය ඇතිව, ‘දෙවියන්වහන්සේට භය වී, උන්වහන්සේට ගෞරවය දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්න.’ යයි මහත් හඬින් කියමින් අහස මැද පියාසර කරන වෙනත් දේවදූතයෙකු දුටුවෙමි.”27 සැබෑ දේවදූතයෝ මිනිසුන්ට ශුභාරංචිය දේශනා නොකරති. ලෝකයේ අවසානය දක්වා තම ශුභාරංචිය දේශනා කිරීමට ස්වාමීන්වහන්සේම තෝරාගත් නියෝජිතයා මනුෂ්‍යයාය.28 එසේ නම් මේ දේවදූතයා, විනිශ්චය “දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ආරම්භ වීමට” කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කරන ශුභාරංචි පණිවුඩයක සංකේතයකි.29 විනිශ්චය කරා ගෙන යන කාලය ශුද්ධ ලියවිල්ලෙන් සොයාගන්නා තුරු එවැනි පණිවුඩයක් ශුද්ධ ලියවිල්ලෙන් දිය නොහැකි විය. දැනටමත් සඳහන් කළ පරිදි, දින 2300 කාල පරිච්ඡේදය දෙවියන්වහන්සේගේ සෙනඟගේ විමර්ශනාත්මක විනිශ්චය දක්වා විහිදේ.
GSAM 91සමගි කිරීමේ දිනය විනිශ්චයේ කාලයකි
GSAM 91.1භූමික ශුද්ධස්ථානය පිරිසිදු කිරීම සිදු වූ සමගි කිරීමේ දිනය, යුදෙව්වන් විසින් එදා මෙන්ම අදත් විනිශ්චයේ දිනයක් ලෙස තේරුම්ගනු ලැබේ. ඔවුන් විසිරී සිටින වර්තමාන තත්ත්වයේදී පවා, ඒ ගාම්භීර දිනයට සම්බන්ධ වූ පුරාණ සියලු මෙහෙයන් පැවැත්විය නොහැකි වුවත්, එය විනිශ්චයේ දිනයක් ලෙස පවත්වනු ලැබේ. මෙයට සාක්ෂියක් ලෙස, රොකී කඳුකරයට බටහිරින් සිටින සම්මත ධර්මය පිළිපදින යුදෙව්වන්ගේ නිල පත්‍රය වූ, කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝහි පළ කළ යුදෙව් විවරණකරු නමැති යුදෙව් පුවත්පතෙන් පළමුව උපුටා දක්වමු. 1892 සැප්තැම්බර් කලාපයේ, ඊළඟ කලාපය නිකුත් වීමට පෙර හත්වන මාසයත් සමගි කිරීමේ දිනයත් එළඹෙන බවට නිවේදනයක් තිබිණි. ඔවුන් හත්වන මාසය හඳුන්වන්නේ තිෂ්රී යනුවෙනි; හයවන මාසය එලුල් ය. එබැවින් පත්‍රයේ මෙසේ සඳහන් විය: “එලුල් මාසය පැමිණ තිබේ. සිහි කිරීමේ දිනයටත් යොම් කිප්පුර්හි අවසාන විනිශ්චයටත් සූදානම් වන ලෙස දන්වමින්, සම්මත ධර්මය පිළිපදින යුදෙව් සිනගෝගවල සෑම උදෑසනකම ෂෝෆාර්හි අවවාදාත්මක හඬ ඇසෙන්නට නියමිතය [හත්වන මාසයේ පළමුවන දා සිට දසවන දා දක්වා පිඹිය යුතු හොරණෑව, ගීතාවලිය 81:3, 4].” ඔවුන් හයවන මාසය වන එලුල්හි අවසානයට පැමිණ සිටි අතර, හත්වන මාසය වන තිෂ්රී ආරම්භ වීමට ආසන්නව තිබූ බැවින්, ඒ පූර්වාදර්ශමය ක්‍රමය තුළ වර්ෂයේ අවසාන විනිශ්චය ප්‍රකාශ කරන හොරණෑ හඬ දින දහයක් පුරා සෑම උදෑසනකම ඔවුන්ට ඇසෙනු ඇත.
GSAM 91යුදෙව් රබ්බිවරයකුගේ සාක්ෂිය
GSAM 91.2නැවතත්, 1902 වර්ෂයේදී කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝහි විශාල යුදෙව් සභාවක රබ්බි ඉසිඩෝර් මයර්ස් සමගි කිරීමේ දිනය නිවේදනය කරමින් මෙසේ පැවසීය: “එක් වර්ෂයකින් තවත් වර්ෂයකට කාලයේ එළිපත්ත පසු කරද්දී, ඉශ්රායෙල් ජාතිකයාට මැවීමත් මැවුම්කරුගේ විශ්වීය පරමාධිපත්‍යයත් ප්‍රබල ලෙස සිහිගන්වනු ලැබේ. කාලයේ උපතේ සහ මහත් රජුගේ කිරුළු පැළඳීමේ සංවත්සරය යයි කිව හැකි එම දිනය හොරණෑ පිඹිමින් සැමරීමට ඔහු කැඳවනු ලැබේ. විනිශ්චයාසනයෙහි වැඩ සිටින සදාකාල යුක්තියේ සියල්ල දකින ඇස ඉදිරියේ ඔහු වෙවුලමින් සිටින අතර, ගෙවී ගිය වර්ෂයේ තම ක්‍රියා ආපසු හැරී විමසා බැලීමටද එම හොරණෑවේ හෙවත් ෂෝෆාර්හි හඬින් ඔහු කැඳවනු ලැබේ.”
GSAM 92.1යුදෙව් දේවමාළිගාවේ මෙහෙයේදී සෑම වර්ෂයකම එක් වරක් ශුද්ධස්ථානය පිරිසිදු කළ බැවින්, දින 2300 අවසානයේ සිදු වන මේ ශුද්ධස්ථානය පිරිසිදු කිරීම, වාර්ෂික පූර්වාදර්ශමය මෙහෙයට අමතර වෙනත් යමකට අදාළ විය යුතු බව දානියෙල්ට පැහැදිලිව පෙනෙන්නට ඇත. අනාවැකියෙහි සංකේත භාවිත කරන විට, එහි දෙන ලද කාලය “එක් එක් දවසට අවුරුද්දක් බැගින්” ගණන් කළ යුතු බව ස්වාමීන්වහන්සේ තම සෙනඟට ඒ වන විටත් උගන්වා තිබිණි.30 එබැවින් අප දැක ඇති පරිදි, මේ දින 2300 කාල පරිච්ඡේදය ස්වර්ගීය ශුද්ධස්ථානයෙහි උත්තම පූජකයා ලෙස ක්‍රිස්තුස්වහන්සේ කරන කාර්යයේ අවසානය දක්වා—එනම් පාපොච්චාරණය මඟින් තමන්ගේ නඩු ස්වර්ගීය ශුද්ධස්ථානයට ගෙන එනු ලැබූ අයගේ විමර්ශනාත්මක විනිශ්චය දක්වා—විහිදේ.
GSAM 921844 දී දිය යුතුව තිබූ විනිශ්චයේ පණිවුඩය
GSAM 92.2ශුද්ධවන්තයන්ගේ විනිශ්චය ආරම්භ වන කාලය සොයාගත් බැවින්, අනාවැකියෙහි සලකුණු කර ඇති පරිදි ස්වාමීන්වහන්සේගේ සිදුවීම් පිළිවෙළ අනුව, “උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ” යන පණිවුඩය දීමට මඟ විවෘත විය. සැලකිල්ලට ගන්න: එම කාල පරිච්ඡේදය සොයාගත් වහාම පණිවුඩය ප්‍රකාශ කරනු ලබන බව එහි නොකියයි; කලින් “මුද්‍රා කර” තිබූ ආලෝකය පැහැදිලි කරනු ලබන බව කියයි. මෙය ඉටු වූ බව අපට පැහැදිලිව පෙනේ. ස්වාමීන්වහන්සේ ආගමන පණිවුඩය ප්‍රකාශ කළ යුතු කාලයද එපමණින්ම නිශ්චිතව සලකුණු කළ බවත්, එම ප්‍රකාශයද එපමණින්ම වචනාර්ථයෙන් ලෝකයට දෙන ලද බවත් ඉදිරි පරිච්ඡේදවලදී පෙනී යනු ඇත.
Notes
- දානියෙල් 12:8-10. ↩
- දානියෙල් 8:17. ↩
- දානියෙල් 12:4. ↩
- ද්විතීය කථාව 29:29. ↩
- නාහුම් 3:2. ↩
- නාහුම් 1:5-9. ↩
- නාහුම් 2:3-5. ↩
- යෝවෙල් 2:1. ↩
- ශෙපනියා 2:1-3. ↩
- දානියෙල් 11:35. ↩
- දානියෙල් 12:7. ↩
- එළිදරව්ව 11:3. ↩
- එළිදරව්ව 11:7-9. ↩
- ඇන්ඩර්සන්ගේ ඉංග්‍රීසි බයිබලයේ වාර්ෂික වෘත්තාන්ත, පි. 494. ↩
- තෝමස් ඩික්ගේ සමාජයේ දියුණුව පිළිබඳව, පිටුව 154. ↩
- තියෙර්ගේ ප්‍රංශ විප්ලවය, වෙළුම 2, පිටුව 371. ↩
- එම කෘතියම, පි. 338. ↩
- එම කෘතියම, පි. 365. ↩
- එළිදරව්ව 11:11, 12. ↩
- දානියෙල් 8:14 ↩
- දානියෙල් 12:6-8. ↩
- දානියෙල් 12:13. ↩
- දානියෙල් 12:8 ↩
- දානියෙල් 12:9 ↩
- මතෙව් 6:10. ↩
- මතෙව් 2:1 හි පිටු දාරයේ දැක්වෙන දිනය. ↩
- එළිදරව් 14:6, 7. ↩
- මතෙව් 28:19, 20. ↩
- 1 පේතෘස් 4:17. ↩
- ගණන් කථාව 14:34; එසකියෙල් 4:6. ↩